Friday, May 9, 2025

General line - 0115112241

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සැකකරුවන් හඳුනාගැනේ

උදය කුමාර 



ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  සැකකරුවන් දෙදෙනෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගත්තා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද පැවැත්වුණා. 

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. 

ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියා. 

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා ම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසුවා. 

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන්  දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු  ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් පැවසුවා. 

එහෙත් විමර්ශන සිදු කරන බස්නාහිර පළාත් දකුණ  විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කළේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ සීසීටීවී දර්ශන වලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. 

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අදාල සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කළා