ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද උදෑසන අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.
යුද්ධ හමුදා විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක අභ්‍යාසයක නිරතව සිටියදී ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන මාදුරුඔය ජලාශයට වැටී එම ගුවන් යානය අනතුරට ලක් වුණා.
එලෙස අනතුරට ලක් වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 පියාසර බලඝණයට අයත් හෙලිකොප්ටර් යානයක්.
එම හෙලිකොප්ටර් යානය අද උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේ එම යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ.
අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මූලික රෝහල වෙත මාරුකර තිබෙනවා.
එහිදී හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ ගුවන් විශේෂ බලකා සෙබලුන් හතර දෙනෙකු මියගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.