එමිරේට්ස් ගුවන් සේවයට අලුතින් එක් වූ නවීනතම ඒ - 350 එයාර් බස් ගුවන් යානයක් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේයි.
එමිරේට්ස් ගුවන් සේවය සතු ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් ඒ - 380 සහ අමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං - 777 ගුවන් යානා ඇණියට, අලුතින් එක්ව සිටින්නේ මෙම එයාර් බස් ඒ - 350 ගුවන් යානයයි.
පුළුල් බඳ සහිත කාර්යක්ෂම, අති නවීනතම මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් බල ගැන්වෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගුවන් සේවයටත් ගුවන් මගීන්ට වැඩි පහසුකම්වලින් යුතු සුවදායී ගුවන් ගමනක ආස්වාදය ලබා දීමටත් සමත් වී තිබෙනවා.
කෙටි, මධ්‍යම සහ පැය 15 ඉක්මවා යන ගුවන් ගමන් සදහා ද මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ මෙම ගුවන් යානා යොදවා තිබෙන අතර මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 32ක්, ප්‍රිමියම් ව්‍යාපාරික පංතියේ ආසන 21ක් සහ ප්‍රිමියම් ඉකොනොමි පංතියේ ආසන 259ක් වශයෙන්, සමස්ථ ගුවන් මගී ආසන 312ක් ඇතුළත්ව තිබෙනවා.
ගුවන් යානයේ ගමන් මග නැරඹුම් දිශා 05කින් සජීවීව දැක බලා ගැනීමට, ජංගම දුරකථන බැටරි ආරෝපණය කර ගැනීමට සහ බ්ලූටූත් සබදතා සැනෙකින් ක්‍රියාත්මක කර ගැනීමට මෙම ගුවන් යානයේ පහසුකම් පවතිනවා.
එමෙන්ම ජාත්‍යාන්තර චන්ද්‍රිකා ජාලය හරහා ගුවන් ගමන අතරතුර දී අඛණ්ඩව අන්තර්ජාල සබදතා පවත්වා ගත හැකි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු නවීනතම ඇන්ටෙනා පද්ධතියක් මගින් ඇමෙරිකාව සහ උත්තර ධ්‍රැවය හරහා ගමන් කිරීමේ දී අඛණ්ඩ ගෝලීය සබඳතා පවත්වා ගෙන යාමේ පහසුකම් ද මෙම ගුවන් යානය සතුයි.