Monday, May 12, 2025

General line - 0115112241

බස් රථ අනතුරින් මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

රංජිත් රාජපක්ෂ



කොත්මලේ, ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශාරීරාගාර ඒකකයේ තැම්පත් කර තිබූ මෘත දේහ 04ක් ඥාතීන් වෙත භාරදී තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ 05 දෙනෙකු මේ වන විටත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානක සෝමරත්න මහතා පැවසුවේ. 
 

මේ අතර අනතුරෙන් හානියට පත් බස් රථය මේ වන විට කොත්මලේ පොලිස්  ක්‍රිඩාංගණයේ ගාල්කර තිබෙනවා. එම බස් රථය පිළිබඳ විමර්ශන සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා, කතරගම ඩිපෝවේ විමර්ශන නිලධාරීන් හා මෝටර් රථ පරීක්ෂක නිලධාරින් අද දිනයේ පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කොත්මලේ පොලීසිය සඳහන් කළේ බස් රථය පරීක්ෂා කිරීමෙන් පසුව ලබාදුන් වාර්තාව ඉදිරි කටයුතු සඳහා භාවිතා කරන අතර ලබන බදාදා දින එම අනතුර පිළිබඳ උසාවියට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.
 

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රපාතයකට පෙරලුනේ ඊයේ අලුයමයයි. 

අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා.