Friday, May 16, 2025

General line - 0115112241

පළාත් සභාවල දූෂණ මඩින්න ජනපතිගෙන් තවත් තීන්දුවක්



පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. 

ඒ, ජනාධිපතිවරයා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදීයි. 

ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගෙන තිබෙනවා.

පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මෙම වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබෙනවා. 

එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද එහිදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.