අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද ප්‍රතික්ෂේප කළා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.
ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සහ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජය සමයේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත් එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාව නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණා.
නමුත් අදාල චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා වුවද චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වනදා බවත් එම නිලධාරිණිය පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවයි එම නිලධාරණීය පැවසුවේ.
මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත් වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බව ඇය පැවසුවා.
මේ හරහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශන පිළිබඳව මහජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ කර ඇති බවත් මේ හේතුවෙන් මහජන කැලඹීමක් මතු වී තිබෙන බවත් එම නිලධාරිනිය සඳහන් කළා.
සැකකාර චාමර සම්පත් දසනායක මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත්, ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක මහතා විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී සැකකාර චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම සැකකරුගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන සඳුදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.
මෙම සැකකරු ඇප ලබා පිටතට පැමිණීම වැළැක්වීම සඳහා අල්ලස් කොමිසම මෙම ඉල්ලීම සිදු කරන බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.
හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ නැවැත්වීමට තම සේවාදායකයාට නොහැකි බවත් එවැනි ප්‍රකාශයක් සිදුකරන ලෙස තම සේවා දායකයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
තම සේවා දායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර නොමැති අතර කිසිදු මහජන කැලඹීමක් මතුවී නොමැති නිසාත් අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.