Monday, May 19, 2025

General line - 0115112241

හල්ලොලුවගේ රථයට තැබූ වෙඩි ගැන සොයන්න පොලිස් කණ්ඩායම් හතරක් සීසීටීවී පීරයි



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් 04ක් යොදා ගනිමින් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් සහ ඔවුන් ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන් ද මේ වන විට සීසීටීවී දර්ශන ඔස්සේ මූලික විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ අදාළ වෙඩි ප්‍රහාරය සිදුව තිබුණා. 

ඒ, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේදීයි. 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුසිත හල්ලොලුව මහතාගේ මොටර් රථය හරස් කොට එම වෙඩි තැබීම සිදු කර තිබුණා. 

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අදාළ මෝටර් රථයෙහි තුසිත හල්ලොලුව මහතා, ඔහුගේ නීතිඥවරයා සහ තවත් පුද්ගලයෙකු ගමන් කර තිබෙනවා. 

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථයට අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ලොලුව මහතාට සහ මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකුට පහරදීමක් ද සිදුකර ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් කොළඹ ජාතික රෝහළට ඇතුළත්ව තිබෙනවා. 

වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ පෞද්ගලික ලිපිගොනුවක ද වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.