Saturday, May 31, 2025

General line - 0115112241

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සහකාර ආගමන හා විගමන පාලකවරයාට සිදුවූ අනතුරක් ගැන ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු කියයි



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක අරුණ සම්පත් රූපසිංහට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී තවත් රැඳවියෙකු විසින් මරණ තර්ජන සිදු කර ඇතැයි වාර්තා වනවා. 

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන  කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියා පසුගියදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ අනුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙනවිත් පළමුව ‘එල්’ වාට්ටුවේ රඳවා තිබෙනවා. කොළඹ අධිකරණ භූමියේදී ඉකුත් දා ඝාතනයට ලක්වූ පත්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමයෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීමට ආධාර අනුබල දුන් බව කියන නිලධාරියාට එලෙස මරණ තර්ජන එල්ල කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එම මරණ තර්ජන සිදු කළ ගණේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමයා මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක  අරුණ සම්පත් රූපසිංහ නමැත්තාගේ බෙල්ල පිහියකින් කපා දැමීමට බන්ධනාගාර ගතව සිටින කෙහෙල්බද්දර පද්මේට  විරුද්ධ  පිරිසක් උත්සාහ කර ඇතැයි කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

එම සිද්ධිය වූ ස්ථානයේ සිටි  ජේලර්වරයෙකු තම සේවාදායකයාව සිර මැදිරියෙන් පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරා  ගැනීමට කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. 

ඒ අනුව සිය සේවාදායකයාගේ ජීවිතයට බන්ධනාගාරය තුළ බරපතල තර්ජනයක් පවතින බැවින් ඔහු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා

 කෙසේ වෙතත් එම සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් පිරිස ජූනි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.