Saturday, May 31, 2025

General line - 0115112241

යෝෂිත රාජපක්ෂගේ නඩුවක් කල් යයි

උදය කුමාර



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව  ජූලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. 

එහිදී නඩුවට අදාල ලේඛනයක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළා. 

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු  ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් තමන්ට අවශ්‍ය බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ. 

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නා. 

ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 11 වන කැදවීමට නියම වුණා. 

 රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.