Friday, May 17, 2024

General line - 0115112241

පාතාලය හැප්පෙයි ඥාතීන් වෙඩි කයි - කොස්ගොඩ පළිය ගන්න බටපොළදී වෙඩි තබලා (UPDATE)




අම්බලන්ගොඩ බටපොළ ඊරියගහදොල ප‍්‍රදේශයේ පිට්ටනිය අසළ සිදු වූ වෙඩි තැබීම තවත් පාතාල ගැටුමක් බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකින් ගමන් කළ මෙම පිරිසට වෙඩි තබා තිබුණේ ඊයේ රාත‍්‍රී 7.15ට පමණයි.

රියදුරු ඇතුළු 05 දෙනෙකු එහිදී තුවාල ලැබුවා.

තුවාල ලැබූ එක් අයෙකු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බටපොළ රෝහලටයි. ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ දරුවන් තිදෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. ඔවුන් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අතරින් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර තිබෙනවා.

ව්‍යාපාරිකයා 45 වන වියේ පසුවන අතර දරුවන් තිදෙනා අවුරුදු 03, 07 හා 13 යන වයස්වල පසුවනවා. 

මෙම සිද්ධිය හා ඉකුත්දා කොස්ගොඩ දි සිදු වූ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇති බවටයි පැවසෙන්නේ.

පාතාල නායකයින් වන කොස්ගොඩ සුජී සහ මධූෂ්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම කොස්ගොඩ වෙඩි තැබීමට හේතුවී තිබුණා.

එහිදී ජීවිතක්ෂයට පත්වූ සිව් දෙනා කොස්ගොඩ සුජීගේ ඥාතීන්.  

2009 වසරේදී පාතාල නායක මධූෂ්ගේ ගෝලයකු වන තාරක නමැත්තාගේ ගෝලයකු වන ලොකූගේ යතුරු පැදියක් අනතුරකට ලක්වීමේ සිද්ධියක් එම වෙඩි තැබීමට බලපා තිබුණා.

ඊයේ බටපොළ ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ තාරක නමැත්තාගේ මාමා බවයි වාර්තා වුණේ.   

දැනට විශ්වාසය පළ වී ඇත්තේ කොස්ගොඩ සුජීගේ ආධාරකරුවන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි.

බටපොළ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. බටපොළ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනවා.

(හේමන්ත කහවලගේ)

-------------------------------------

වෙඩි තැබීමක් - 5 ට තුවාල

(31-10-2017 20:45)

වසන්ත පිවිතුරු

අම්බලන්ගොඩ - බටපොළ - ඊරියහගදොළ  ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මෝටර් රථයකින් ගමන් කළ පස් දෙනෙකු මෙම වෙඩි ප්‍රහාරයේ ඉළක්කය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ යතුරුපැදියකින් ගමන් කළ කිහිප දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.