Friday, April 26, 2024

General line - 0115112241

එන්නත් දෙන්න සූදානම් වුවත් උතුරු කොරියාව ගන්න සූදානම් නැහැ - අමෙරිකාවෙන් චෝදනාවක්




උතුරු කොරියාව වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් තොග ලබාදීමට තම රට මේවනවිටත් සූදානම් බව අමෙරිකාව පවසනවා.

දකුණු කොරියාවට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සෝල් අගනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කොරෝනා වෙරසයේ ව්‍යාප්තිය හමුවේ උතුරු කොරියාව මුහුණ පා සිටින බැරෑරුම් තත්ත්වයට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා සිය රට සූදානම් බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් කළ යෝජනාවට උතුරු කොරියාව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබාදී නොමැති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම සුදුසු වාතාවරණයක් හමුවේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට වුවද තමන් සූදානම් බව ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළා. එහෙත් උතුරු කොරියානු නායකයා ඒ සඳහා අවංකව කටයුතු කළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් උතුරු කොරියාව මේවනවිට දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අතර එරටින් මේවනවිට වාර්තා වන ආසාදිතයින් ගණන මිලියන 2 කට අධිකයි.