නිලධාරී හිඟය, පහසුකම් නොමැතිකම, අයවැයෙන් සුදුසු දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේදි ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 600ක් පමණ පිරිසක් බවයි.
එම නිලධාරීන් පිරිස විසින් නිලධාරීන් 931 දෙනෙකුගෙන් ඉටුවිය යුතු රාජකාරි ප්‍රමාණය ඉටුකරමින් සිටියද, ඒ සඳහා රජයෙන් කිසිදු ඇගයීමක් හෝ සාධාරණ දීමනාවක් ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.
''පශු වෛද්‍ය නිලධාරීන් 931ක් ඉන්න ඕන තැන අපි මේ වෙනකොට රටේ ඉතුරු වෙලා ඉන්නේ, රාජ්‍ය සේවයේ ඉතුරු වෙලා ඉන්නේ පශු වෛද්‍ය නිලධාරීන් 600ක පමණ ප්‍රමාණයක්. තුනෙන් එකක ප්‍රමාණයක් නැති තත්ත්වයක මේ ඉන්න නිලධාරීන් විසින් 931කට සරිලන ප්‍රමාණයේ වැඩ ප්‍රමාණයක් මේ වෙනකොට රටේ කරනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ඇගයීමකට මේ රජයෙන් අපිව ලක් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න ඉදිරිපත් වුණේ, 2024 නියමිත අයවැය ඉදිරිපත් කරලා තිබ්බත් එහිදී අපි ඉදිරිපත් කරපු අපේ විශේෂයෙන් මේ අධික වැඩ බරක් අපිට තියෙනවා 931ක ප්‍රමාණයක් 600 දෙනෙක් කරනකොට කොයි වගේ වැඩ ප්‍රමාණයක් කළ යුතුද කියන එක ඔබ සියලු දෙනාට තේරෙනවා. ඒ අමතර රාජකාරී සඳහා අමතර රාජකාරී දීමනාවක් අපි අයවැයට පෙර ඉදිරිපත් කරලා තිබ්බා, යෝජනාවක් ඉදිරිපත් කරලා තිබ්බා රජයට. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් අපිට හම්බවෙලා නැහැ කියලා මේ අයවැය කියවීමේදී අපිට දැනගන්න ලැබුණා. පශු වෛද්‍ය නිලධාරීන් වැඩ කරන්නේ අති දුෂ්කර සේවයක් මේ වෙනකොට කරන්නේ. කාර්යාලයක් ගත්තට පස්සේ නියමිත රජයේ නිලධාරීන්ට ලැබෙන කාර්යාල පහසුකම් අපිට ලැබෙන්නේ නැහැ. ගොඩක් තැන්වල අපේ කාර්යාලය අබලන් තත්ත්වයේ පවතින්නේ සහ සමහර තැන්වල අපි කුලියට අපේ සේවා පවත්වාගෙන යන්නේ. ඒ වගේම රාජකාරී වාහන ගත්තට පස්සේ ගොඩක් තැන්වල වාහන නැහැ. අපි පෞද්ගලික ආයතන සමග එකතු වෙලා ත්‍රීවීල් හයර් කරලා සමහර වෙලාවට අපි ක්ෂේත්රයට යන්නේ.''




