දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක වැසි වාර කිහිපයක් අද දිනයේ ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසුවේ.
''බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇතිවෙන්න පුළුවන්. මීට අමතරව ඌව පළාතෙත්, අම්පාර දිස්ත්‍රික්කයෙත් පස්වරු දෙකෙන් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.''