පොලිස් විශේෂ කාර්ය බලකායේ කිළිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර, කාන්තාවන් 05 දෙනෙකුද වන බවයි පොලීසිය පැවසුවේ.

රාමනාදම්පුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී උණුසුම් තත්තවයක් හටගෙන තිබෙනවා.

එහිදී පොලු මුගුරු රැගෙන එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පහර දී සැකකරුවන් මුදා ගෙන පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියන් 05 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.