ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාව ජනපති සහභාගීත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් අද (30) සිට ජූලි 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි .

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලක්දිවෙහි පිහිටුවීමෙන් පසුව 1864 ජූලි මස ගාල්ලේ වැලිවත්ත විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කර ගෙන මහමෝදර උදකුක්ඛේප සීමාවේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමෙහි මූලික වූ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභ වර ඥානසාමී සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සිට මේ දක්වා ඉතාමත් ඉහළින් ශාසනික පිළිවෙත් පරිදි සිදු කර තිබේ.

ඒ අනුව, මෙවරද චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දෙස්, විදෙස් වශයෙන් උදාර ආගමික හා ශාසනික සේවාවක නිරත ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ ස්වාමීන් වහන්සේලා වෙත ගෞරව නාම ප්‍රදානය සහ විජිනිපත් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

මෙහිදි අනුශාසනාවක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ සදහන් කළේ ශාසනයේ ඉතා සුළු පිරිසක් සිදු කරන අකටයුතුකම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවා දක්වමින් සමස්ත සංඝ සමාජයටම අපවාද එල්ල කිරීම, සැදැහැවත් ජනතාව මහා සංඝරත්නයෙන් දුරස් කිරීමට හේතු වී ඇති බවයි.මෙරට භික්ෂු සමාජය ආරක්ෂා කර ගනිමින් රටට අවශ්‍ය බහුශ්‍රැත හා විනයධර භික්ෂු පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් මෙවන් උපසම්පදා විනයකර්ම වැදගත් වන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන, නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත, උපසම්පදා පුණ්‍ය මහෝත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් නායක පූජ්‍ය ඇලප්පන්කුලමේ වංශානන්ද, හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ජිනදාස විමලසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු දෙස්-විදෙස් ආරාධිතයෝ පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.