රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතය ද අද (25) සිට සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීම සහ අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින් එම පියවර ගත් බවයි.

ඒ අනුව, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70% ක උපරිම සීමාවකට යටත් විය යුතු වනවා.

මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම, පවතින ණයක් නැවත අලුත් කිරීමේදී ද එකසේ අදාළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම්, රන් ණය සහ රන් භාණ්ඩ ඇපයට තබා ගනිමින් ලබාදෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා.

ණය පහසුකම් ලබාදීමේදී ඇපයට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි වෙළඳපොළ වටිනාකම සැලකිය යුතු වනවා.

ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරුකරණ ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ණය ලබාදෙන අවස්ථාවේදී සිදුකරන මෙම තක්සේරු කිරීම් මඟින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් ලැබෙන බවට එම ආයතන වගබලා ගත යුත බවද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබනවා.