දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද රී බිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහනට මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී තිබෙනවා.

දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මෙම මුදල් ලැබී ඇති බවයි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ.

මෙම සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ.

මෙම ආපදා තත්ත්වය තුළ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.