දිවයින පුරා පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකියි.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කිරිදිඔය පිටාර ගැලීම හේතුවෙන් ඊයේ රාත්‍රි වනවිට නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව වැල්ලවාය නගරය, වරුණගම, නුගේයාය ප්‍රදේශයවල නිවාස එලෙස ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බවද ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පැවසුවා.