ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ඉන්දියාව සමඟයි. ශ්‍රී ලංකා වේලාවෙන් ඩුබායි හීදී තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 08.00ටයි. අද තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව බොහෝ දුරට චාමික කරුණාරත්න වෙනුවට කමිල් මිෂාර යළි කණ්ඩායමට එක්වනු ඇති. ඉන්දීය කණ්ඩායමට ද රින්කු සිං හෝ ජිටේෂ් ශර්මා කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ. ඉන්දීය කණ්ඩායම දැනටමත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා අවසන්. ශ්‍රී ලංකාව තරඟාවලියෙන් ඉවතට විසිවී තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ හමුදා ගැටුමක් පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් කළ ප්‍රකාශය හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට වරදකරු කර තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සැප්තැම්බර් 14 වන දින පැවති පාකිස්තානය කණ්ඩායමට එරෙහි තරඟයෙන් පසුවයි. කෙසේවෙතත් ඔහුට ලබා දුන් නිශ්චිත දඬුවම කුමක්දැයි මෙතෙක් තහවුරු කර නොමැති අතර ඉන්දියාව එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. සැප්තැම්බර් 14 වන දින තරගයෙන් පසුව සූර්යකුමාර් යාදෙව් පැවසුවේ ලැබූ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට කැප කළ බවයි. ඉකුත් මැයි මාසයේදී පාකිස්තානයට එරෙහිව හමුදා මෙහෙයුමකට සහභාගී වූ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ට මෙම කැපවීම සිදු කළ බව ඔහු පසුව සඳහන් කර තිබුණා.
Published