යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කර තිබෙනවා.
එහි රහසිගත තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව හතක් විසින් එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.
එම පෙත්සම් ඒ.එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.
අදාළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර ඉන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු ඉදිරිපත් කළා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියේ මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
යෝජිත පනත් කෙටුම්පත තුළින් දැනට විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් හඳුන්වාදීම සහ ඔවුන් අලුතින් ස්ථාපිත කෙරෙන සමාගමට යළි අනුයුක්ත කර ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇති බවත් ඇය සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් අගෝස්තු මස 27 වනදා වන විට සිදු කිරීමට කටයුතු කරනු ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙම පනත් කෙටුම්පත පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා සෑහීමකට පත් වන්නේ නම් පමණක් එය ක්‍රියාත්මක කෙරෙණු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් හෙට දිනය තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියෝග කළා.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරියේදී යොමු කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළා.