අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකු සඳහා, එම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ, අදාළ අනතුර සැලවීමෙන් පසු උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අනතුරෙන් තුවාල ලැබූ පාසල් සිසුන් සම්බන්ධයන් රෝහල වෙත ගොස් තොරතුරු සොයා බැලූ බවයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින එක් සිසුවෙකු එම අනතුරෙන් තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහිදී අනාවරණ වී තිබෙනවා.

එම සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බැවින් අද දිනයේ ඔහුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීමේ ගැටලුවක් නොමැති බවයි වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ.

ඒ අනුව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අදාළ සිසුවාට එම රෝහලට ආසන්නතම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඒ අනුව අදාළ සිසුවා රෝහලේ සිට ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් විභාගය අවසන් වූ පසු නැවත එම රෝහල වෙත යොමු කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඊයේ සිදුවූ එම අනතුරෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්‍ෂට පත්වූ අතර තවත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලැබුවා.