මෙරට සංගීත ක්ෂේත්‍රයට කියා නිම කල නොහැකි විශිෂ්ට සේවයක් සිදුකල හෙලයේ රන් ස්වරය නන්දා මාලනියන් අද දැයෙන් සමුගෙන යනවා.
ඒ අනුව අද පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවතේ පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ ඊයේ පෙරවරුවේ තැන්පත් කළ අතර විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව පුදකිරීම සදහා පැමිණ සිටියා.
අද දිනයේ අවසන් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් පල කලේ මෙලෙසයි.
''නන්දා මාලනී අවසාන කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිය ලියලා තියෙනවා. ඒ නිසා ඇගේ දේහය පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේම තැන්පත් කරනවා. ඉතාම චාම් විදියට. පස්වරු 3:30ට දේහය මෙහෙන් අරන් යනවා වියපරයකින්. අරගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක්, කථා පැවැත්වීමක්, ශෝක ප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නෑ. ඒක එතුමියගේ ඉල්ලීම. අවමංගල්‍ය සභාවක් නොපවත්වා හවස 5:00ට ඉතාම චාම් විදියට මේ අවමංගල්‍ය කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. ආගමික වතාවත් සිද්ධ වෙනවා උදේ 10:00ට මේ නිවසේදීම.''
අද දැයෙන් සමුගෙන යන නන්දා මාලනියන් සුභාවිත ගීතයේ සිංහල ලකුණයි. ඇය එවන් තැනකට ඔසවා තැබුවේ කෙසේද. මේ, සරසවි පුවත්පතේ කතෘ නුවන් නයනජිත් කුමාර මහතා සමග නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර සිදුකල සංවාදයක්.
සමන්ත: "කලාකරුවන් සම්බන්ධයෙන් විග්‍රහ කරන්න, ඔවුන් සම්බන්ධයෙන් කතා කරන්න ඇත්තටම මේ සංවේදනාත්මක මිනිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. ඔබ කිව්වා වගේ අනාගතය ගැන අපි අශුභවාදීව දකිනවා නෙමෙයි. නමුත් අනාගත පරපුරේ එවැනි චරිත ඉන්නවාද කියන ගැටලුව තමයි අපිට සමාජ මාධ්‍ය දිහා බලපුවාම තියෙන්නේ."
නුවන් නයනජිත් මහතා : "මම පොඩ්ඩක් ඔබට බාධාවක් කරන්නම්. ඒකත් නන්දා මාලිනියගේම ගීතයක කියවිලා තියෙනවානේ. දැන් ඔබ බලන්නකෝ 'සුකිරි බටිල්ලන්ගේ' ගීතය. 1973 'යාත්‍රා' කැසට් පටයෙන් එළිදැක්වූ 'සුකිරි බටිල්ලන්ගේ' ගීතයෙන් තේරෙනවා නේද දැන් එහෙම පරම්පරාවක් හැදිලා තියෙනවා කියලා? අලුත් පරම්පරාව ඇතුළේ. ඒ කියන්නේ මේ පැරණි සාහිත්‍යය විසි කරලා, අපේ අපේකම නැති කරගෙන, අපේ භාෂාව ගැන කතා කරන්නේ නැතුව, අපේ සංස්කෘතිය ගැන කතා කරන්නේ නැතුව, අපේ සම්භාව්‍ය සාහිත්‍යය පැත්තකට විසි කරලා... කිසිම ඉලක්කයක් නැති ගමනක යන පරපුරක් තමයි මේ... මේ අලුත් පරපුර ගැන අභූතවාදයෙන් මං කතා කරනවා නෙමෙයි, මම මේ කියන්නේ බහුතරයක් දකින්න තියෙන තත්ත්වය. බොහොම ටික දෙනෙක් ඒකෙන් නිවිච්ච තරුණ පිරිසක් ඉන්නවා බොහොම ප්‍රතිභාවෙන් තමන්ගේ... නමුත් වෙලා තියෙන්නේ ඒ අයටත් ඒ පාර වැහිලා ගිහිල්ලා තියෙනවා මේ... වැඩිපුර මොකද හේතුව ඒ රසිකාගාරය නැහැ. ඒ සහෘදයන්ට තේරුම් ගන්න පුළුවන් හොඳ නිර්මාණ කොහොමද අපි අඳුරගන්නේ? එතකොට දැන් ඒ ඊළඟට මේ අවුරුදු 30ක් තිස්සේ සිදුවුණු අසමාජ, ආර්ථික, දේශපාලන පෙරළිත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙච්ච පිරිවැටීම් මේ හැමදේයක් එක්කම රසවින්දනය කියන එක අන්තිම පහළ මට්ටමකට දැන් තියෙන්නේ. හොඳ ගීතයක් තෝරගන්න ළමයින්ට තේරෙන්නේ නැහැ. හොඳ පොතක් කියවගන්න තේරෙන්නේ නැහැ. භාෂාව පිළිබඳව තියෙන සංවේදීතාවය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වැනි ප්‍රශ්න රාශියක්, මේක මාර සංකීර්ණ තැනක දැන් තියෙන්නේ. ඉතින් එතකොට මේ ගීත රසවිඳිය හැකි පරම්පරාවක්, විශ්ලේෂණය කළ හැකි පරම්පරාවක් ඉස්සරහට ඉඳීද කියන එක ගැන ඉතාම කණගාටුවක් තියෙන්නේ. මේක අපි සපථ කර සිටින කාරණයක් නෙමෙයි, බොහොම බලවත් සංවේගයක් දැනෙනවා ඒ පිළිබඳව."
සමන්ත: "අපේ අමරදේවයන්ව මතක් කරොත් එතුමන්ට ලබා දුන්නු තැන, ඔබගේ තිබුණු නිර්වචනය... අපිට මතකයි අපි ඔබත් සමඟ සංවාදයේ යෙදෙනකොට. 'මේ දේශයේ මහා ගාන්ධර්වයා', එවැනි යෙදුම්. ඔබ නන්දා මාලිනියව තබන්නේ කොතැනද?"
නුවන් නයනජිත් මහතා: "මම ඇත්ත වශයෙන්ම මම එකඟයි පණ්ඩිත් අමරදේවයන් හඳුන්වලා දුන්නු වචනයට. පණ්ඩිත් අමරදේවයන් හැඳින්වුවේ 'සුභාවිත ගීතයේ සිංහල ලකුණ' කියලා. 'සුභාවිත ගීතයේ සිංහල ලකුණ'. ඒ යෙදුම හරි. ඉතින් ඒක හරිම ශාස්ත්‍රීයයි. මොකද ඒ කිව්ව හේතුව තමයි ඇගේ හඬ... දැන් අපි ගායන ශිල්පීන් කුලක හැටියට ගත්තාම අපිට සිටිනවා ඉතාම විශිෂ්ට ගණයේ ගායක ගායිකාවන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් තමයි ඒ හඬවල් පෝෂණය වුණේ. එහෙම හඬවල් තියෙනවා අපිට. මම ඕන නම් නිදර්ශන හැටියට කියන්නම්; සුජාතා අත්තනායක මහත්මියගේ, ආචාර්ය සුජාතා අත්තනායක, අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පිනියගේ හඬ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් විකසිත හඬක්. මහාචාර්ය සනත් නන්දසිරි එතුමාගේ හඬත් එහෙමයි. තව සමහර හඬවල් තියෙනවා දේශීය හඬවල්, ඒ කියන්නේ දේශීය ජනනාද රටාවලින් හැදිච්ච හඬවල්. මම වර්ග කරන්නේ නන්දා මාලිනියගේ හඬ අන්නේ ඒ කුලකයට. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ කටහඬ, ටී. එම්. ජයරත්නයන්ගේ කටහඬ... ඒ කටහඬවල්වල තියෙන්නේ දේශීය ඌරුවක්. තව සමහර හඬවල් තියෙනවා අපරදිග සංගීතයෙන් පෝෂණය වුණු හඬවල්. ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ හඬ, ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ හඬ... අපරදිග ඌරුවක් එක්ක එන හඬවල්. ඉතින් මේ හඬවල් වර්ග කරද්දී, මේ සාමූහික, ප්‍රතිභාපූර්ණ, උසස්ම ගායන ශිල්පීන් අතරේ නන්දා මාලිනියව මා ස්ථානගත කරන්නේ දේශීය ගැමි ඌරුවක් එක්ක පැමිණි හඬක් විදිහටයි. ඇගේ හඬේ නැහැ උත්තර භාරතීය සංගීත ඌරුවක්. එතකොට අපරදිග ඌරුවකුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි පණ්ඩිත් අමරදේවයන්ගේ හඳුන්වා දීම ඉතාම උචිතයි. 'සුභාවිත ගීතයේ සිංහල ලකුණ' තමයි ඇය. ඒකේ තර්කයක් නැහැ."




