පන්දුවාර විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 40 කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්ත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

එහිදි ෂෆාලි වර්මා පන්දු 40කදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්.

ඇයගේ ඉනිම හයේ පහර තුනකින් සහ හතරේ හතකින් වර්ණවත් වුණා.

කෙසේවෙතත් ජයග්‍රාහි ලකුණු 150ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මේ අතර අවසන් මහා තරගයේ වරම් හිමිකර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවන අර්ධ අවසාන පූර්ව තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද මුහුණ දීමට නියමිතයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින්නේ පකිස්තාන කාන්තා කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ මූලික වටයේ B කාණ්ඩයේ ප්‍රමුඛයන් වෙමින් අපරාජිතව අර්ධ අවසාන පූර්ව වටයට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නායිකා චමරි අතපත්තු කඩුලු 9ක් දවාගනිමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති අතර, නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා සමරවික්‍රම පිතිහරඹයෙන් ශක්තිමත් දායකත්වයක් ලබා දී සිටිනවා.

අනෙක් පසින් දෙවන ස්ථානය හිමිකර ගනිමින් අර්ධ අවසාන පූර්ව වටයට පිවිසි පකිස්ථාන කණ්ඩායම, මූලික වටයේ අවසන් තරගයේදී හොංකොං පිල හමුවේ ලකුණු 72ක විශිෂ්ට ජයක් වාර්තා කළා.

එහිදී පකිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩිකා නෂ්රා සන්ධු ලකුණු 07කට කඩුලු 06ක් දවාගනිමින් පකිස්ථාන කාන්තා විස්සයි20 ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව ද පිහිටුවීමට සමත් වුණා.

කෙසේ වෙතත්, අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයට පෙර තම පිතිකරණ බලඇණිය තුළ සබඳතාවයන් ගොඩනැගීම සහ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිදියුණු කරගත යුතු බවයි පකිස්ථාන නායිකා ෆාතිමා සනා ප්‍රකාශ කර ඇත්තේ.

මන්දගාමී සහ දඟපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනදෙන ඩුබායි තණතීරුව තුළ පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයෙන් ජයගන්නා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.