ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය දෙවන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

“දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය සඳහා බොහෝ පාර්ශ්ව මේ වනවිට එක්ව සිටින බවයි නෙත් එෆ් එම් දකුණු පළාත් අලෙවි කළමනාකරු සහ දිරිය නෙත් උප සභාපති අශෝක ජයලත් සුමනසේකර මහතා පැවසුවේ.

මේ අතර “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සඳහා ඔබටද අභ්‍යාස පොත්, පෑන්-පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසල් උපකරණ භාරදී මේ සඳහා එක්විය හැකියි.

එම කටයුත්ත සඳහා මේ වනවිටත් පාර්ශව කිහිපයක් නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

ඒ අනුව “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සමග අත්වැල් බැදගත් එක් පාර්ශවයක් වන්නේ කළුතර විද්‍යාලයේ 91ක ආදි ශිෂ්‍ය කණ්ඩායමයි.

ඒ අනුව කළුතර ප්‍රදේශය අවට ජීවත් වන ජනතාවට, කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගොඩනැගිල්ල වෙත සිය පරිත්‍යාග ලබාදිය හැකියි.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට එක් වූ බණ්ඩාරවෙල ප්‍රජාවද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සඳහා එක් වුණා.

ඒ අනුව ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සඳහා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලය සහ බණ්ඩාරවෙල තරුණ සංවිධාන එකමුතුව එක්ව සිටිනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට සිය පරිත්‍යාග බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරස්ථානයට භාරදිය හැකියි.

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සඳහා සරසවි පොත් ශාඛා ජාලය වෙත හෝ ඕනෑම ඩී.එස්.අයි ප්‍රදර්ශනාගාරයකට ද සිය පරිත්‍යාග භාරදිය හැකි වනවා.

එමෙන්ම පීඩාවට පත් දරුවන්ට පරිත්‍යා කිරීම සඳහා ඔබ මිලදී ගන්නා භාණ්ඩවලට විශේෂ වට්ටම් ලබාදීමට ද ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා.

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය වෙනුවෙන් කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය වෙත අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසල් උපකරණ ඔබට භාරදිය හැකියි.

ඊට අමතරව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, ගාල්ල - උඩුගම ජාතික පාසල සහ මාතර මහමායා බාලිකා විද්‍යාලයට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සදහා පරිත්‍යාග ලබාදිය හැකි වනවා. හුංගම, හාතාගල රජමහා විහාරයට සහ අම්බලන්තොට මහා විද්‍යාලයට ද ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකියි.

ඇඹිලිපිටිය - බනානා ගෘප් මගින් සංවිධානය කළ එකතු කිරීමේ මධ්‍යස්ථානය ඇඹිලිපිටිය සම්පත් ෆැෂන් ආයතනයේ ස්ථාපිත කර තිබෙනවා.

ඒ සඳහා ද ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකියි.

හානියට පත් පාසල් පිරිසිදු කිරීම මෙන්ම හානියට පත් උපකරණ ලබාදීම ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.