ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
එය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කලා.
මෙම අවබෝධතා ගිවිසුම සමඟින්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ එරට ජාතික ආරක්ෂක බලකායන් සමඟ පාර්ශ්වකරුවන් ලෙස ක්‍රියා කරන විවිධ ජාතීන් 115 කින් සමන්විත ගෝලීය ජාලයට ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවෙකු ලෙස එක් වනු ඇති.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල පළමු අදියර එළඹෙන 2026 වර්ෂයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හදිසි ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය ඉහල නැංවීම සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරනු ඇති.
තවද, ඒකාබද්ධ පුහුණු වැඩසටහන්, නීති විරෝධී ජාවාරම් සහ සංක්‍රමණ මැඩලීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව, ඇතිවිය හැකි අර්බුධ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම හා මානුෂීය ආධාර, ගුවන් මෙහෙයුම්, මෙන්ම ශක්තිමත් හමුදා සිවිල් සහසම්බන්ධතාවයක් තුලින් ආපදා පෙර සූදානම ආදී ක්‍රියාකාරකම් හරහා අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
ඇමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ජෙනරල් Trenton Gibson අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) මහතා මෙහිදී ප්‍රකාශ කළේ, මෙම අවබෝධතා ගිවිසුම තුලින් අන්‍යොන්‍ය කැපවීම, හවුල් උපායමාර්ගික අවශ්‍යතා මෙන්ම, ධාරිතා වර්ධනය, ඒකාබද්ධ පුහුණුව, මානුෂීය සහය, ආපදා ප්‍රතිචාරය, සයිබර් ආරක්ෂාව, සාමය පවත්වා ගැනීම, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර (CBRN) සුදානම මෙන්ම නායකත්ව සංවර්ධනය සඳහා නව ප්රවේශයන් විවෘත කිරීම පිළිබිඹු කරන බවයි.





