‘දිට්වා’ සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික වී තිබෙනවා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එවා තිබූ ලිපියේ සඳහන් පරිදී, “ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු.” යනුවෙන් ද පවසා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසනවා.
ඒ, ලෝක බැංකු සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුවයි.
ලෝක බැංකුව වැඩිදුරටත් පවසා තිබුණේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.
ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985ක්.
රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562ක් බව ලෝක බැංකුව පවසනවා.
එසේම වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසයි වාර්තාවේ දැක්වෙන්නේ.
මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1.735ක් ලෙසයි ගණනය කර ඇත්තේ.
එය සමස්ත හානියෙන් සියයට 42ක්.
ලෝක බැංකුවෙන් වාර්තාවට අනුව වැඩිම හානිය සිදුව ඇත්තේ මධ්‍යම පළාතටයි.
එය අමෙරිකානු ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.




