තද වැසි සහ තද සුළං ඇති වීමේ වැඩි සම්භාවිතාවක් මේ වන විට නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ නිරිතදිග මෝසමේ සක්‍රීයභාවය මෙම තත්ත්වයට එක් හේතුවක් බවයි.

වැසි ඇදහැලුන ද සූර්යාලෝකය ද පවතින බවත් දවස පුරාම වැසි ඇදහැලීමේ සම්භාවිතාවක් ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ සම්භාවිතාවක් ද පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටයි ප්‍රකාශ කෙරුණේ.

මුහුදු රළ වැඩිවීමේ සම්භාවිතාවක් ඇති බැවින් ධීවර හා නාවික කටයුතුවලදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හෙට පෙරවරු 05.30 තෙක් වලංගුයි.