ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි FZ1073 ගුවන් යානය කඩාබිම හෙළීමට සහායක නියමුවා දැරූ උත්සාහය පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්දැයි ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කළේ, මෙම ප්‍රහාරයට ඉරානයේ කිසියම් සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් තහවුරු වී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙය ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරකයා ත්‍රස්තවාදියෙකු විය හැකි බවයි.
අදාල යානය පියාසර කරන අතරතුරදී සහායක නියමුවා විසින් ප්‍රධාන ගුවන් නියමුවා වන ඉන්දියානු ජාතික කැප්ටන් ස්මිත් මච්ඡාර්ට පිහියකින් පහරදී, යානයේ පාලනය ගෙන එය කඩාබිම හෙළීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී මිනිත්තු දෙකකටත් අඩු කාලයකදී යානය අඩි 17,400කට වඩා පහතට කඩා වැටෙමින් පැවති අතර, ගුවනේදී පැහැරගැනීමකට ලක්වූ බවට හදිසි සංඥාවද නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත්, බරපතල ලෙස තුවාල ලබා සිටියදී පවා කැප්ටන් ස්මිත් මච්ඡාර් සිහිසුන් වීමට පෙර කොක්පිට් හෙවත් ගුවන් නියමුවන් යානය පාලනය කරන ඉදිරිපස කුටියේ දොර විවෘත කිරීමට සමත් වී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ ඊශ්‍රායල මගීන් සහ කාර්ය මණ්ඩලය, කොක්පිට් පරිශ්‍රයට කඩා වැදී ප්‍රහාරකයා යටපත් කරගනිමින් යානයේ පාලනය නැවත ලබාගැනීමට සමත් වුණා.
මගීන්ගේ සහ නියමුවාගේ මෙම වීරෝදාර ක්‍රියාව නිසා යානයේ සිටි 174 දෙනෙකුගේ ජීවිත බේරී මහත් විනාශයක් වැළකී ගිය බවත්, එය ඊශ්‍රායලයට තවත් ”සැප්තැම්බර් 11 ප්‍රහාරයක්” බඳු වීමට තිබූ බවත් අගමැති නෙතන්යාහු පැවසුවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද කැප්ටන් ස්මිත්ගේ නොසැලෙන ධෛර්යය අගය කරමින්, මුළු ඉන්දියාවම ඔහු පිළිබඳව ආඩම්බර වන බව සඳහන් කළා.
අනතුරුව සවුදි අරාබියේ තබුක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වන ලද යානයේ සිටි මගීන් පසුව විශේෂ යානයකින් ටෙල් අවීව් වෙත රැගෙන ආ අතර, ප්‍රහාරයට ලක්වූ ඉන්දීය නියමුවා දැනට සවුදි අරාබියේ රෝහලක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.
අත්අඩංගුවට ගත් සැකකාර සහායක නියමුවා සම්බන්ධයෙන් සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය එක්ව ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා.




