බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයෙන් පසුව ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම යුගයේ අවසන් පුරුක “ඇන්ජලෝ මැතිව්ස්” ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

2008 වර්ෂයේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන මැතිව්ස් වසර 17ක් පුරාවට සිය තුන් ඉරියව් දක්ෂතාවයන් පෙන්වා ක්‍රීඩා ලෝලීන් පිනවීමට ඔහුට හැකියාව ලැබුණා.

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිලෙහි නැංගුරම වූ ඇන්ජලෝ මැතිව්ස් 2009 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැත්වුණු තරඟයෙන් ටෙස්ට් වරම් ලබාගද්දී ඔහුගේ අවසන් තරඟයත් ගාල්ලේ පැවැත්වීම විශේෂත්වයක්.

මැතිව්ස් සිය ටෙස්ට් දිවියේදී ටෙස්ට් තරඟ 118කදී ඉනිම් 216ක් ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 8,167ක් රැස් කරගෙන සිටිනවා.

2013 වසරේදී ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකත්වය තමන් උරමතට ගත් ඇන්ජලෝ මැතිව්ස් නම් වූ ඒ අසහාය ක්‍රීඩකයාට ටෙස්ට් තරඟ 32කදී තරඟ 13ක් ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට්වල තුන්වැනි වැඩිම ලකුණුලාභියා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හැඳින්විය හැකියි.

ඒ අනුව බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙන පළමු තරඟයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් නම් ඒ සටන්කාමියා ලාංකීය ප්‍රේක්ෂකයින් ආගමක් සේ සලකන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සුදානම්.

කෙසේවෙතත් එක්දින ජාත්‍යන්තර තරඟ වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡා කරන බවයි.

තමාට එක්දින තරඟ සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතින්නේ නම් තමා ක්‍රීඩා කිරීමට සූදානම් බවද මැතිව්ස් පවසා තිබෙනවා.

2026 වසරේ මුල් භාගයේදී ඉන්දියාව සමඟ T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව නියමිත බැවින්, මැතිව්ස් එම සංචිතයට තෝරා ගැනීමේ අවස්ථාවක් පවතින බවද ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.