අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර විරෝධතා හටගෙන තිබෙනවා.
මෙම විරෝධතා හටගෙන ඇත්තේ ආගමන වැටලීම් නතර කරන ලෙස ඉල්ලමින් අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට උත්සාහ කිරීමත් සමඟයි.
එලෙස පැනවූ තහනම් නියෝගය ක්‍රියාත්මක කරමින් ලොස් ඇන්ජලීස් නුවර වැටලීම් සිදු කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබුණා.
රැකියා ස්ථානයක සිදු කළ එක් මෙහෙයුමකදී අනවසර සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 77 දෙනෙකු ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන්, ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් යෙදවීමට අමෙරිකානු ජනාධිපතිතීරණය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැන වූ තහනම් නියෝගය ඊයේ සිට ක්‍රියාත්මක වී තිබුණා.
ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල්වලට එම තහනම පනවා තිබෙනවා.
මීට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් එම පියවර ගන්නා බවයි.