ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සිව්වතාවක් ශූරතාව දිනාගත් ප්‍රබල ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයකදී කෝඩුකාර කියුරසාඕ රාජ්‍යය තලා පොඩිකර දැමුවා.

ජර්මනිය මෙම තරගය ජයගත්තේ ගෝල 7ට 1ක් ලෙසයි.

කියුරසාඕ යනු, කැරබියානු මුහුදේ ඕලන්ද කැරබියානු කලාපයේ නෙදර්ලන්ත රාජධානිය තුළ පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍යයක්.

එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 444යි.

2023 සංගනනයට අනුව එරට ජනගහනය එක්ලක්ෂ 55,826යි.

කියුරසාඕ රාජ්‍ය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සදහා සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වනවා.

තරගයේ පළමු ගෝලය වාර්තාවුණේ 6 වැනි මිනිත්තුවේදීයී.

ජර්මනිය වෙනුවෙන් මෙම ගෝලය ලබාගත්තේ ෆීලික්ස් න්මේචා (Felix Nmecha).

ඊට විනාඩි 15 පසුව තරගයේ 21 වැනි විනාඩියේදී මුළු මහත් ක්‍රීඩාගාරයම මවිතයට පත් කරමින් කියුරසාඕ කණ්ඩායම ගෝලයක් ලබාගත්තා.

ලෝකයේ කුඩාම ජනගහනයක් සහ භූමි ප්‍රමාණයක් සහිත දූපත් රාජ්‍යයක් වන කියුරසාඕ වෙනුවෙන් මෙම ඓතිහාසික ගෝලය ලබාගත්තේ ලිවානෝ කොමනෙන්සියා (Livano Comenencia) විසින්.

කියුරසාඕ කණ්ඩායම ලබාගත් මෙම ගෝලයෙන් පසු ජර්මානු ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා විලාශය වඩාත් ආක්‍රමශීලි ලෙස වෙනස් කළා.

කියුරකාඕ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ දැමු ඔවුන් එක පිට එක ගෝල ලබාගන්න පටන්ගත්තා.

ජර්මනිය වෙනුවෙන් මෙම ගෝල ලබාගත්තේ නිකෝ ෂ්ලොටර්බෙක්, කායි හැවර්ට්ස්, ජමාල් මුසියාලා, නතානියෙල් බ්‍රවුන් සහ ඩෙනිස් උන්ඩාව් යන අයයි.

මේ ජයග්‍රහණයත් සමඟ ජර්මනිය ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් - ඒ කියන්නේ ගෝල 239ක් - ලබාගත් කණ්ඩායම ලෙස බ්‍රසීලය අභිබවා පෙරමුණට පැමිණීමට ද සමත් වුණා.

තරගයෙන් පසු අදහස් දැක්වූ කියුරකාඕ කණ්ඩායමේ 78 හැවිරිදි ප්‍රධාන පුහුණුකරු ඩික් ඇඩ්වකාට් (Dick Advocaat) ප්‍රකාශ කළේ, ජර්මනිය ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වුවත් තමන්ගේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතාවය පිළිබඳව ආඩම්බර වන බවයි.

ජර්මනිය සහභාගී වන මීළඟ තරගය එන සෙනසුරාදා අයිවරි කෝස්ට් කණ්ඩායම සමඟත්, කියුරකාඕ කණ්ඩායම එදිනම රාත්‍රියේ ඉක්වදෝරය සමඟත් පැවැත්වෙනවා.