ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යය ධනාත්මක ප්‍රතිචාර පළ කර තිබෙනවා.

වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳ අමාත්‍ය ආචාර්ය අහමඩ් අල් සෙයෝදි මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම ධනාත්මක ප්‍රතිචාරය පළව තිබෙනවා.

ඒ අනුව දෙරට අතර විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹීම සඳහා කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමටයි එහිදී එකඟතාව පළව ඇත්තේ.

මෙමගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා මැදපෙරදිග වෙළඳපොළ වඩාත් විවෘත වන අතර, මෙරට තුළ නව ආයෝජන අවස්ථා රැසක් බිහිවීමටද එම ගිවිසුම් මගින් අවස්ථාව හිමි වනවා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉකුත් 26 සහ 27 යන දෙදින ඩුබායි රාජ්‍යයේ සිදු කළ සංචාරය අතරතුර මෙම සාකච්ඡාව සිදුව තිබෙනවා.