ගෝලීය ආර්ථික හා ආරක්ෂක අවිනිශ්චිතතා මධ්‍යයේ සිය උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දියාව සහ පෝලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට දෙගුණ කිරීමටත්; ආරක්ෂක උපකරණ ඒකාබද්ධව නිෂ්පාදනය, අතිශය තීරණාත්මක ඛනිජ, අර්ධ සන්නායක සහ කෘතිම බුද්ධිය යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් අතර එකඟතාව පළවී තිබේ.
ව්‍යාපාරික හවුල්කාරිත්වයන්, තාක්ෂණික හුවමාරුව මෙන්ම හමුදාමය උපකරණ ඒකාබද්ධව සංවර්ධනය හා නිෂ්පාදනය උත්තේජනය කිරීම උදෙසා ආරක්ෂක කර්මාන්ත සංවාදයක් පැවැත්වීමට දෙපාර්ශ්වය මෙහිදී යෝජනා කළහ.
මීට අමතරව අභ්‍යවකාශ ක්ෂේත්රය, සයිබර් ආරක්ෂණය, දුර්ලභ මූලද්‍රව්‍ය පිරිපහදුව සහ බැටරි ප්‍රතිචක්‍රීකරණය ද ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත.
2024 අගෝස්තු මාසයේදී ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රායෝගික ආර්ථික ප්රතිලාභ බවට පරිවර්තනය කිරීමේ අරමුණින්, පෝලන්ත අග්‍රාමාත්‍ය ටස්ක් ව්‍යාපාරිකයින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සමඟින් ඔක්තෝබර් 21 සිට 23 දක්වා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වෙයි.
ජෙෂ්ඨ නායකයින් දෙපළගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ ඉන්දියාවේ උපායමාර්ගික ක්ෂේත්රයන්හි ආයෝජනය සඳහා එක්වන ලෙස පෝලන්ත සමාගම්වලට ආරාධනා කරන බවයි.
"ආරක්ෂක, අභ්‍යවකාශ සහ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයන්හි අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපි එකඟ වුණා. මෙම සියලු උපායමාර්ගික ක්ෂේත්රයන් තුළ ඉන්දියාව සමඟ එක්ව ඒකාබද්ධ නිෂ්පාදන හා සංවර්ධන කටයුතුවල නිරත වන ලෙස අපි පෝලන්ත සමාගම්වලට ආරාධනා කරනවා," යනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.
ඉන්දියා-යුරෝපීය සංගම් නිදහස් වෙළඳ ගිවිසුම අවසන් එකඟතාවකට එළඹීම පිළිබඳව නායකයින් දෙපළම සතුට පළ කළ අතර, එය ඉක්මනින් අත්සන් කිරීම, අප්‍රමාදව බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ගිවිසුම මගින් යන්ත්‍ර සූත්‍ර, රසායනික ද්‍රව්‍ය සහ ඉංජිනේරු භාණ්ඩ ඇතුළු ඉන්දීය අපනයන සඳහා නව අවස්ථා උදාවන අතරම, ඉන්දීය දුම්රිය සේවය, උසස් නිෂ්පාදන ක්ෂේත්රය, ආහාර සැකසුම් සහ ජෛව තාක්ෂණ ක්ෂේත්රයන්හි පෝලන්ත ආයෝජන සඳහා ද මංපෙත් විවර වන බවයි.




