මෙරට පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ලබන 27 වන දා සිට ජූලි මස 05 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත් වීමට නියමිතයි.

ඒ, බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන්.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.