ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශෛල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගේ විස්තර ලබා ගැනීම තවදුරටත් සිදුවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

අදාළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍ය කර්මයන් සිදු කරනු ලදුව ඒවා බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ එම කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ ශල්‍ය කර්මයන්ට භාජනය වූ හා අගතියට පත් වූ පුද්ගලයන් 77 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

එම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයන් අදාල තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව එම තොරතුරු 19 54 ක්ෂණික ඇමතුම් අංකයට හෝ එම කොමිෂන් සභාවේ විද්‍යුත් ලිපිනය වෙත යොමු කළ හැකි වනවා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අත්අඩංගුවට ගැනු ලැබුවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.