අය වැය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර පිළිබද කිසිසේත්ම සතුටු නොවන බවයි.

"විශේෂයෙන්ම මං ඔබතුමන්ලාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමන්ලාට හරි හෝ වැරදි හෝ 'ජෙන් සී' (Gen Z) පරපුර, තරුණ පරපුර විශාල වරමක් දුන්නා. ජෙන් සී එක විතරක් නෙවෙයි, ජෙන් ගැමා කියයි, ජෙන් බීටා කියයි, මිලේනියල්ස් කියයි... සමහරුන්ට ඡන්දෙ තියෙනවා, සමහරුන්ට ඡන්දෙ නෑ. නමුත් විවිධාකාරයෙන් ඔබතුමන්ලා ජයග්‍රහණය කරන්නට ඒ අය කටයුතු කළා. දැන් බලන්න ඒ අයගේ අපි විශ්වාස කරන ආකාරයට තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ඩිජිටල් ආර්ථිකය. දැන් ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් ඔබතුමන්ලා වෙන් කරලා තියෙනවා බිලියන 28.5 ක්. 2026 වෙන් කරලා තිබුණා බිලියන 25.5 ක්. දැන් බිලියන 28.5 යි, තව බිලියන 12.1 කුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි ඔබතුමන්ලා 2026 ඩිජිටල් ක්ෂේත්‍රයේ පොරොන්දු 17 ක් දීලා තියෙනවා, ක්‍රියාත්මක කරලා තියෙන්නේ 5 යි. ප්‍රමාද (Delay) වෙලා තියෙනවා තව 4 ක්. කිසිම ප්‍රගතියක් (Progress) නෑ 3 ක. මං මේවා සංඛ්‍යාත්මකව කියන්නේ. ඩිජිටල් අයිඩී (Digital ID) එක 2026 තුන්වෙනි කාර්තුවේ පළමු ඩිජිටල් අයිඩී කාඩ් එක ගේනවා කිව්වා. මාර්තු 2026 කොන්ත්‍රාත්කරු තෝරා ගන්නවා කිව්වා. සැප්තැම්බර් 2026 වෙනකොට තාමත් කොන්ත්‍රාත්කරු නෑ. නොවැම්බර් 2026 වෙනකොට අලුත් දිනයක්වත් නෑ. සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා (Roll out) කියලා 2027 අගෝස්තු මාසයේ කෙරෙනවා කියලා නියෝජ්‍ය ඇමතිවරයා කියලා තියෙනවා."

ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය පැවසුවේ විපක්ෂයට පෙනෙන්නේ අය වැය සම්බන්ධයෙන් වැරදි පමණක් බවයි.

සමහර මඟුල් ගෙවල්වල, අවමඟුල් ගෙවල්වල මාර විදිහට මහන්සි වෙලා වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. තමන්ගේ ගෙදර ඥාතීන්, ඒ මිනිස්සු ඒ වෙනුවෙන් මාර කැප කිරීමක් කරනවා. පුදුමාකාර වෙහෙස මහන්සියක් වෙනවා. ඔය අතරේ ඉන්නවා මොනවත්ම කරන්නේ නැතුව එහෙට යන ගමන් මොකක් හරි හොරකම් කරන් යනවා, මෙහෙට යන ගමන් මොකක් හරි හොරකම් කරන් යනවා. ඒ කරලා අහනවා 'කෝ මෙතන තිබ්බ එක? කෝ අතන තිබුණු බඩුව? කෝ මෙතන තිබුණු කෑම ටික?' එහෙම අහන කණ්ඩායමක් ඉන්නවා. ලෑස්ති වෙලාම ඉන්නේ ඒ වැඩේට.මට පේන්නේ විපක්ෂ නායකතුමාත් ඒ විදිහට අපෙන් ඇවිල්ලා අහනවා 'කෝ අරක? කෝ මේක? කෝ ආරක්ෂාවට වෙන් කරපු එක? කෝ අධ්‍යාපනයට වෙන් කරපු මුදල?' ලැජ්ජයි කියන්න. අපෙන් නෙවෙයි අහන්න ඕනේ, එයාලා එයාලගෙන්ම තමයි අහගන්න ඕනේ. අවුරුදු 76ක් කරන්න බැරි වෙච්ච හරිය තමයි අපි මේ පරිවර්තනය කරමින්, ස්ථාවර කරමින්, යහපත් දිශාවකට යොමු කරමින්, කළමනාකරණය කර ගනිමින් මේ වැඩ කරගෙන යන්නේ."

මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා.

"දැන් බලන්න, දැන් බලන්න IMF එක. එන්නකෝ කතා කරන්න මේ, මේවා කතා කරන්නකෝ. දැන් IMF එකට ඕගොල්ලන් ගැහුවනේ, බැන්නනේ 'පන්නපන්' කියලා. 'IMF එක යන්න ඕනේ, IMF එක තිබ්බොත් අපි ඉවරයි' කියලා. මොකක්ද IMF එකෙන් කරන්නේ? හදිසියකට ගිනි පොලීකාරයෙක්ගෙන් පොලී ණය ගන්න ඕනේ. හැබැයි බේරෙන්න ඕනේ අවුරුද්දෙන් දෙකෙන්. දන්නවනේ ව්‍යාපාරික මෙතුමා, හරිද? එතකොට නැත්නම් IMF එක මොකද, IMF එක තමයි මේ බෙල්ල හිර කරන්නේ. ඉන්ඩිරෙක්ට් ටැක්ස් (Indirect tax - වක්‍ර බදු) එක කියන්නේ සාමාන්‍ය ජනතාව ගෙවන ටැක්ස් එක, පොහොසත් මනුස්සයාගේ ටැක්ස් එක නෙමෙයි. එතකොට සියයට 22 යි ඩිරෙක්ට් ටැක්ස් (Direct tax - සෘජු බදු) එක, අනිත් ඔක්කොම ඉන්ඩිරෙක්ට් ටැක්ස් ඔබතුමන්ලාගේ. එතකොට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ සියයට 33 යි, ඉන්ඩිරෙක්ට් එක ඊට වැඩිය ඉතාමත් අඩු ප්‍රමාණයක්, සියයට 33 - 67 යි. එතකොට ඒ ප්‍රමාණය ඔබතුමන්ලාගේ කාලේ ඉතා විශාල ලෙස ඉන්ඩිරෙක්ට් ටැක්ස් එක දැන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දුප්පත් මනුස්සයා භාණ්ඩ, ඔබතුමන්ලා ගහන්නේ භාණ්ඩවලට. ඔබතුමන්ලාගේ ඒ ටැක්ස් එකෙන් තමයි මේ ප්‍රමාණය එන්නේ. එතකොට IMF එකේ හිටියොත්... ඇයි ඔබතුමන්ලා IMF එකට ගැහුවනේ, ඇයි IMF එක දැන් අපෙන් අහන්නේ? ආයේ සලකා බලන්න මොනවත්, IMF එකෙන් අයින් වෙන්න. අයින් වෙලා ඔබතුමන්ලාගේ ඔය තියෙන ව්‍යාපාර මොළේ දාලා... IMF එක තිබ්බේ නැත්නම් ඔබතුමන්ලාට මං කියනවා ඔබතුමන්ලා අද බංකොලොත්. මේ රට පාලනය කරන්න ඔබතුමන්ලාගේ ඔය, ඔබතුමන්ලා දෙනවනේ මෙච්චර අපි ආණ්ඩුවේ සල්ලි තියෙනවා, මෙච්චර බදු ප්‍රමාණයක් අය කරා... ඔය ඔක්කොම IMF එකේ වැඩ. IMF එකේ තුන්දෙනෙක් හතරදෙනෙක් මේ රට රන් (Run - පාලනය) කරන්නේ. ඔබතුමන්ලා කරන දෙයක් නෑ."

එහෙත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ අය වැය දත්ත සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන දත්ත නිවැරදි නොවන බවයි.
"ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න පුළුවන් කොහොමද කියලා ගත්තොත්, ඒ කියපු දත්ත ගොඩක් බොරු, විශේෂයෙන්ම මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා. දැන් මොකද 2015 - 2019... දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක් 2015 - 2019 මේ රට පාලනය කළේ කවුද කියලා. මොකද 2015 - 2019 බදු ක්‍රමය කොහොමද? බදු එකතු කරගන්න බැරි වුණේ කොහොමද? ආයෝජන ආවේ මිලියන 700 කට අඩුවෙන්. එතකොට 2015 - 2019 මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ නැත්තේ ඇයි? ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වුණේ නැත්තේ ඇයි? ව්‍යුහාත්මක වෙනස්කම් කරේ නැත්තේ ඇයි? විදුලි බලයට ආයෝජනය කරේ නැත්තේ ඇයි? ඉතින් දැන් වේදනයි තමයි. ඉතින් මොකක්ද කරන්නේ? (අවුරුදු පහක්...) අපිට හම්බුණා, අපි කරනවා. This is what we are going to do (මෙය තමයි අපි කරන්න යන්නේ)."