අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව ලෝකයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා මෙලෙස මුහුණට මුහුණ හමුවීමට නියමිතයි.
ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් සඳහන් කළේ, ලොව න්‍යෂ්ටික අවි අවම කිරීම සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි.
ඉකුත් පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ රුසියාව අතර පැවති න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම කල් ඉකුත් වීමෙන් පසු, චීනය ද ඇතුළත් කර ගනිමින් නව ගිවිසුමකට එළඹීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙනවා.
මීට අමතරව ඉරාන යුද ගැටුම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වුවත්, යුක්රේන යුද්ධය පිළිබඳව මෙහිදී සාකච්ඡා නොකෙරෙනු ඇති බවයි අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව අවසානයේදී කිසිදු නිල ගිවිසුමකට අත්සන් තැබීමක් අපේක්ෂා නොකරන බව ද ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය චීන සංචාරය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වීමට නියමිත අතර, චීනය හෝ රුසියාව මෙම තුන්කොන් හමුව සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.




