ලොව පුරා රටවල් 70කට වැඩි සංඛ්‍යාවක දෛනික කටයුතු අඩාල කරමින් පැවති තාක්ෂණික බිඳවැටීමෙන් පසුව, තම සේවාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා.

මෙම ගැටලුවට මුල් වූ තාක්ෂණික දෝෂය විසඳීමට ගත් උත්සාහයන් අවසන් කර ඇති බවත්, Outlook, Teams සහ Copilot යන සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයින්ට දැන් කිසිදු බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යා හැකි බවත් එම සමාගම පැවසුවා.

මෙම බිඳවැටීම නිසා ව්‍යාපාරික කටයුතුවල සිට රාජ්‍ය සේවාවන් සහ පෞද්ගලික පරිශීලකයින් දක්වා සෑම අංශයකටම දැඩි බාධා එල්ල වුණා.

ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් මෙලෙස බලපෑමට ලක් වූ මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන භාවිතා කරනු ලබනවා.

”ජාල ධාරිතාව වැඩිදියුණු කිරීමේ” ක්‍රියාවලියක් අතරතුර ඇති වූ මෙම තාක්ෂණික දෝෂය පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම සමාව අයැද සිටි අතර, මෙය සයිබර් ප්‍රහාරයක් හෝ කෘත්‍රිම බුද්ධි පද්ධතියක දෝෂයක් නිසා සිදු වූවක් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, ව්‍යාපාර සහ අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රධාන තාක්ෂණික සමාගම් කිහිපයක් මත කෙතරම් දැඩි ලෙස රඳා පවතින්නේද යන්න පිළිබඳව මෙම සිදුවීම ”පැහැදිලි මතක් කිරීමක්” බව තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙනවා.

පරිශීලකයින්ට Microsoft 365 නිෂ්පාදන වෙත පිවිසීමේ ගැටලු ඇති බවට පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වීමට පටන් ගත් අතර, ඊයේ වන විට මෙම බිඳවැටීම ජපාන රජය, පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය, ඔස්ට්‍රේලියානු ඔත්තු සේවය මෙන්ම උතුරු අමෙරිකාවේ දුම්රිය, රෝහල් සහ අධිකරණ පද්ධතීන් දක්වාම ව්‍යාප්ත වී තිබුණා.

ගැටලුව මුලින්ම මතුවී පැය 24කට පමණ පසු, එක්සත් රාජධානියේ වේලාවෙන් ඊයේ පස්වරුව වන විට මෙම සේවාවන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම ආරම්භ වූ බවයි එම සමාගම පවසන්නේ.