72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී මේ වන විට පැවැත්වෙනවා.

ලොව පුරා රූප රාජිනියන් 108 දෙනෙකු විශ්ව රූ රැජින වීමේ අපේක්‍ෂාවෙන් මෙහිදී තරඟ වදිනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට එක්ව සිටින අනුදි ගුණසේකරටද එහිදී විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.

ඒ මෙම තරඟාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ සුවිශේෂී හැකියාවන් හේතුවෙන්.

මාසයක පමණ කාලයක් පුරා තේමා කිහිපයක් යටතේ මෙම තරඟාවලියේ එක් එක් අදියරයන් පැවැත්වුණා. ලෝක රූ රැජින අවසන් මහා තරගය පස්වරු 06යි 30ට පමණ ආරම්භ වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.

මේ අතර 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, සිය X ගිණුමේ සටහනක් තබමින්. ජාත්‍යන්තර වේදිකාවකදී රට සහ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.