මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින්.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ රුපියල් කෝටි 13ක වටිනාකමින් යුක්ත වත්කම්, රුපියල් කෝටි 04ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රුපියල් කෝටි 02ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාලව මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවයි. මෙම විමර්ශනයට අදාලව මේ වන විටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති බවත් ප්‍රකාශ කෙරුණා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලද කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, අමලි නයනිකා රඹුක්වැල්ල සහ ඇයගේ සැමියා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ සැක කටයුතු බැංකු ගිණුම් පිළිබඳ ඉදිරිපත් කළ තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බවයි.

ඒ අනුව සැකකරුවන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු පහක් මහාධිකරණ නියෝග මත තහනමට ලක් කර තිබෙන බවත් ඒවායේ වටිනාකම රුපියල් මිලියන 97කට අධික බවත් එම නිලධාරියා සඳහන් කළා. ඊට අමතරව ඉසුරු පුලස්ති බණ්ඩාර නමැති සැකකරුට අයත් මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බවයි එම නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම සැකකරුවන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීම සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ යන චෝදනා යටතේ එම වරද කියා දී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා. මෙම විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන් දෙනෙකුට ඊයේ දින අධිකරණය විසින් ඇප ලබාදී තිබෙන බව සඳහන් කළා.

මෙම නඩුවේ පළමුවන සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා විසින් මැණික් පතලක් පවත්වාගෙන ගියේ යැයි ඊයේ දින තමා අධිකරණය හමුවේ සඳහන් කළ බවයි නීතිඥවරයා පැවසුවේ. එම මැණික් පතලට අදාල බදු ගිවිසුම මෙන්ම මැණික් වෙන්දේසි කිරීමෙන් අනතුරුව ස්වර්ණාභරණ අධිකාරියට සිදුකළ බදු ගෙවීම්වලට අදාළ සියලු ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව පවසමින් එම ලේඛන ඔහු විසින් අධිකරණයට භාරදුන්නා.

චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල නමැති සැකකාරියගේ බැංකු ගිණුමේ පවතින මුදල් ඇය විදේශීය තානාපති කාර්යාලවල හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරී කළ අවස්ථාවේ උපයාගත් මුදල් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. අමලි නයනිකා රඹුක්වැල්ල නමැති සැකකාරියගේ බැංකු ගිණුමේ පැවති රුපියල් මිලියන 30ක මුදල ඇය විසින් විදේශීය සමාගමකට උපදේශන සේවා ලබාදීමෙන් සෘජුවම ලැබුණු මුදල් බවයි නීතිඥවරයා කියා සිටියේ.

මෙම නඩුවේ දෙවන සැකකාරිය කුඩා බිළිඳකුගේ මවක් බවත් තුන්වන සැකකරු පෞද්ගලික සමාගමක සේවය කරන උසස් නිලධාරියෙකු බවත් පෙන්වා දුන් නීතිඥවරයා මොවුන් විමර්ශනවලට උපරිම සහාය ලබා දී ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එක් එක් සැකකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට නියම කළා.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටයි නියෝග කළේ. ඉන් අනතුරුව මෙම නඩුකරය අගෝස්තු මස 26 වන දා කැඳවීමටද නියම වුණා.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියෙහි ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුලත් කර ඔවුන්ට හිමි වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ අසුවකට ආසන්න මුදලක් ලබාගෙන රජයට පාඩු කළේ යැයි සිදු කරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ දියණියක වන අමලී නයනිකා රඹුක්වැල්ල නමැත්තිය ඇප මත මුදා හැරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කළා.

මේ අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අද දින ඔවුන්ගේ ඇප කොන්දේසි සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

උදය කුමාර