පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් අද සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවයි.

එම විශේෂ දුම්රිය ගමන්වාර එළඹෙන 11 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර අනුරාධපුර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු සනීපාරක්‍ෂක කටයුතු සහ තෙරතුරු මධ්‍යස්ථාන මේ වන විටත් සූදානම් කර ඇති බවයි පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසුවේ.

මීට සමගාමීව අද පස්වරු 06 සිට 11 වනදා දහවල් 12 දක්වා ජනතාවට තොරතුරු දැනගැනීමට සහ ගැටලු දැනුම්දීමට විශේෂ දුරකතන අංක දෙකක්ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 025 370 79 55 යන දුරකතන අංකය සහ 025 370 03 71 යන දුරකතන අංක දෙක අද පස්වරුවේ සිට සක්‍රීය බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් කලාප 06ක් වශයෙන් පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී සඳහා යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනුරාධපුර පූජා නගරයේ මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශය, තන්තිරිමලය රජමහා විහාරස්ථානය, අවුකන, විජිතපුර හා නාමල් උයන යන ප්‍රදේශ සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

 

අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්මට අනුව අනුරාධපුර නගරයේ ස්ථාන 21ක රථගාල් ස්ථාපිත කිරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

එමෙන්ම මිහින්තලය පූජා භූමිය තුළ රථ ගාල් 07ක් ස්ථාපිත කර තිබෙනවා.

රථගාල් ස්ථාපිත කර ඇති එම ස්ථානවල පමණක් සිය රථවාහන නවතා තැබීමට කටයුතු කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ රථගාල් ස්ථාපිත කර ඇති ස්ථාන පිළිබඳ තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.