පොලිස් අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා‘ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් තිබෙනවා.

පසුගිය මැයි 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේදී වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ ‘සාන් සුද්දා’ නොහොත් සම්පත් කුමාර යන අය අත්අඩංගුවට ගැණුනා.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සැකකරු අද උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබෙනවා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

ජයන්ත වීරසේකර