වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.