සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකිකයාට ලබාදී තිබූ එම මරණ දඬුවම් තීන්දුව ඉවත් කිරීමට සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රන් මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

ඊයේ දින නිකුත් කළ අධිකරණ තීන්දුවකට අනුව මෙලෙස මරණ දඬුවම අවලංගු කර ඇති අතර, එය ශ්‍රී ලංකා රජය මගින් අඛණ්ඩව සිදුකරන ලද රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබි රජයේ සහයෝගය ඇතිව, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඇතුළු නිලධාරීන් මෙන්ම දෙරටේම නීතිඥ කණ්ඩායම් විසින් සිදුකළ කැපවීම හේතුවෙන් මෙම සහනය හිමිව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆෙස්බුක් සටහනින් පෙන්වා දෙන්නේ.