ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය සිව්දින ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් සෙනසුරාදා උදෑසන කොල්කටා නුවරට පැමිණියේය.

මෙය ඔහු පසුගිය වසරේ එම ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරයයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, කොල්කටා සංචාරය නිමා කිරීමෙන් පසු රූබියෝ නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇත.

ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන රූබියෝ ඉරිදා දිනයේදී විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අඟහරුවාදා නවදිල්ලියේ පැවැත්වෙන Quad විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ද සහභාගී වනු ඇත.

ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුව, මැයි 23 සිට 26 දක්වා රූබියෝ සිදු කරන මෙම ඉන්දීය සංචාරයට අග්‍රා සහ ජයිපූර් යන නගරවල සංචාරය කිරීම ද ඇතුළත් වේ.

ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් සමඟ පැවැත්වෙන මෙම හමුවීම්වලදී බලශක්ති ආරක්ෂාව, වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ප්‍රධාන කරුණු පිළිබඳව රූබියෝ සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන බව තානාපති කාර්යාලය පැවසීය.

කොල්කටා ගුවන් තොටුපළේදී රූබියෝ සහ ඔහුගේ බිරිඳ පිළිගනු ලැබුවේ ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් විසිනි.

"මගේ මිත්‍ර රූබොයෝ ඉන්දියාවට පිළිගැනීමට ලැබීම ගෞරවයක්! ඇමෙරිකා-ඉන්දීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන දැක්ම ඉදිරියට ගෙනයාම අරමුණු කරගත් Quad විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇතුළු විශාල වැඩපිළිවෙළක් අප සතුයි. සාර්ථක සාකච්ඡා මෙන්ම එක්ව සැබෑ ප්‍රගතියක් අත්කර ගැනීමට බලාපොරොත්තු වෙමි!" යනුවෙන් ගෝර් X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේය.