අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, ඉරානයට ඉදිරි සති දෙක, තුන දක්වා කාලයක තුළ දැඩි ලෙස පහර දෙන බවටත් ඔවුන් ගල් යුගයට නැවත ගෙන යන බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයෙන් අනතුරුවයි.

ටෙහෙරාන් නුවර පිහිටි සියවසක් පමණ පැරණි වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක්, පාලමක් සහ වානේ කම්හලක් ඉලක්ක කර අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පෙබරවාරි 28 වනදා සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 2,076 දෙනෙකු මියගොස් පුද්ගලයින් 26,500 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

ඉරානයේ පාසල් ඇතුළු අධ්‍යාපන මධ්‍යස්ථාන 600කට වැඩි ප්‍රමාණයකට එම ප්‍රහාරවලින් හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.