ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ලොව වැඩිම ආයු කාලයක් හිමි ජනගහනයක් වෙසෙන රට ලෙස සැලකෙන්නේ ජපානයයි.
එක්සත් ජාතීන්ගේ හා ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, අද වන විට එරට ජීවත්වන සියවසක් පසුකළ පුද්ගලයින් 107,677 දෙනෙකු ජීවත් වන අතර, එය ලොව වෙනත් කිසිදු රටක දැකිය නොහැකි ඉහළම සංඛ්‍යාවක්.
මෙම පිරිසෙන් සියයට 88 කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වීමද විශේෂත්වයක්.
ජපානයේ දැනට ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස කියෝටෝ නගරයේ වෙසෙන 114 හැවිරිදි ෆුයෝ කිෂිමොටෝ වන අතර, වයස්ගතම පිරිමි පුද්ගලයා වන්නේ කුමමොටෝ හි 112 හැවිරිදි හි කරු කටො නැමැත්තායි.
ජපානය පිහිටවූ මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් ජපාන සෞඛ්‍ය අමාත්‍ය කෙනිචිරෝ උඑනෝ පවසා ඇත්තේ, වෛද්‍ය තාක්ෂණයේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ දියුණුව හේතුවෙන් මෙලෙස විශාල පිරිසකට සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විඳීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි.
මෙම දීර්ඝායුෂ වාර්තාව සතුටට කරුණක් වුවද, වේගයෙන් වයස්ගත වන ජනගහනය හමුවේ රටේ සමාජ ආරක්ෂණ පද්ධතිය සහ විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාම බරපතල අභියෝගයක් බවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.
ප්‍රධාන වශයෙන් මාළු, එළවළු සහ බත් අඩංගු ආහාර වේලක් ලබාගැනීම සහ බටහිර ආහාරවලට සාපේක්ෂව සංතෘප්ත තෙල් අවම වශයෙන් භාවිත කිරීම ජපන් ජාතිකයින් මෙලෙස දීර්ඝායුෂ ලැබීමට හේතුවක් ලෙසටයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
දෛනිකව ඇවිදීම, පාපැදි භාවිතය, පොදු ප්‍රවාහන සේවා භාවිතය සහ ව්‍යායාමවල නිරත වීම වැනි ජපාන ජාතිකයන්ගේ ක්‍රියාශීලී ජීවන රටාවද මෙලෙස දීර්ඝායුෂ ලැබීමට හේතුවක් ලෙස සැලකෙනවා.
ජපානයේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටෙමින් පවතින අතර, පසුගිය වසර දහයකට වැඩි කාලයක සිට එරට ළදරු නැපි අලෙවියට වඩා වැඩිහිටි නැපි අලෙවිය ඉහළ ගොස් තිබීමෙන් ජපානය මුහුණ දී ඇති මෙම ජනගහන අර්බුදයේ ස්වභාවය මැනවින් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.



