ඇෆ්ගනිස්ථානය සමඟ පැවති වෙළෙඳ කටයුතු අත්හිටුවීම හේතුවෙන් ඇෆ්ගන් පලතුරු සැපයුම අඩාල වී වෙළෙඳුන්ට දේශීය නිෂ්පාදන මත යැපීමට සිදුවීමත් සමඟ පාකිස්තානයේ දෙළුම් මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව 'අරාබි නිවුස්' පුවත් සේවය වාර්තා කළේය.

බලුකිස්තාන් පළාතේ අගනුවර වන ක්වෙටා නගරයේ උසස් තත්ත්වයේ දෙළුම් කිලෝග්‍රෑමයක් මේ වන විට පාකිස්තාන රුපියල් 900ක් පමණ මිලකට අලෙවි වන අතර, පසුගිය වසරේ මෙම කාලය තුළ එහි මිල පැවතියේ රුපියල් 400ක් ලෙසයි.

2025 වසරේදී පාකිස්තාන රුපියල් 4,000ක් (ඩොලර් 14ක්) පමණ වූ විශාල දෙළුම් කිලෝග්‍රෑම් 10ක පෙට්ටියක් මේ වන විට රුපියල් 10,000ක් (ඩොලර් 36ක්) තරම් ඉහළ මිලකට අලෙවි වන බව වෙළෙඳුන් පවසයි. පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2024 වසරේදී එරට ඇෆ්ගනිස්ථානයෙන් ආනයනය කර ඇති දෙළුම්වල වටිනාකම ඩොලර් මිලියන 18 ඉක්මවයි.

චමන් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ ඇෆ්ගන් දෙළුම් ආනයනකරුවෙකු වන හජි ජලාත් ඛාන් අචක්සායි සඳහන් කළේ මෙම වෙළෙඳ තහනම පාරිභෝගිකයින්ට මෙන්ම ආනයනකරුවන්ට, ප්‍රවාහනකරුවන්ට සහ නිෂ්කාශන නියෝජිතයින්ට ද දැඩි ලෙස බලපා ඇති බවයි. ඔක්තෝබර් මැද සිට දෙසැම්බර් මැද දක්වා පවතින පලතුරු වාරය තුළ මීට පෙර ඇෆ්ගන් දෙළුම් රැගත් ලොරි රථ 250ක් පමණ දිනපතා චමන් දේශසීමාව හරහා පාකිස්තානයට ඇතුළු වූ බව ඔහු පැවසීය.

පාකිස්තානය පුරා පවතින ඉල්ලුම සපුරාලීමට බලුකිස්තානයේ දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අචක්සායි, දෙරට අතර පවතින මතභේද විසඳාගෙන ද්විපාර්ශ්වික වෙළෙඳාම යළි ආරම්භ කරන ලෙස කාබුල් සහ ඉස්ලාමාබාද් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මෙම සැපයුම් බාධාව බලුකිස්තානයේ ගොවීන්ට සිය දේශීය නිෂ්පාදනය පුළුල් කිරීමට අවස්ථාවක් උදා කර දී තිබේ.

පාකිස්තාන පලතුරු සහ එළවළු සංගමයේ ප්‍රධානී සහ අග්‍රාමාත්‍ය අපනයන මණ්ඩලයේ සාමාජික වහීඩ් අහමඩ් පැවසුවේ ඇෆ්ගන් ආනයන නතර වීම බලුකිස්තානයේ දේශීය වගාකරුවන්ට හොඳ අවස්ථාවක් නිර්මාණය කර ඇති බවයි. එහෙත්, මෙම තත්ත්වය පුළුල් වෙළෙඳ කටයුතුවලට හානි කරන බවට අනතුරු ඇඟවූ ඔහු, පාකිස්තාන කෘෂිකාර්මික නිෂ්පාදන ද ඇෆ්ගනිස්ථානයට අපනයනය කර එතැන් සිට මධ්‍යම ආසියානු වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කෙරුණු බව වැඩිදුරටත් සඳහන් කළේය.