උසස් පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඉතාලියේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා යුරෝ මිලියන 7කට අධික මුදලක් ආයෝජනය කරන බව ඉන්දියාව නිවේදනය කර තිබේ.
2026–27 වසරේ සිට ආරම්භ වන පරිදි වසර පහක කාලයක් පුරා මෙම ආයෝජනය සිදු කෙරෙන අතර, එය ඉතාලියේ ‘ඉලෙට්රා සින්ක්‍රොට්‍රෝන් ට්‍රයිස්ටේ’ පර්යේෂණාගාරයේ 'Elettra 2.0' වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
ඉන්දීය විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං පසුගිය නොවැම්බර් 13 වැනිදා අදාළ පර්යේෂණාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම ආයෝජනය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඉන්දීය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, ඉතා කුඩා පරිමාණයෙන් ද්‍රව්‍යවල ව්‍යුහය සහ ගුණාංග පරීක්ෂා කිරීම සඳහා ප්‍රබල ආලෝක කදම්භ භාවිත කරන නව පරම්පරාවේ සින්ක්‍රොට්‍රෝන් කදම්භ මාර්ග සංවර්ධනය කිරීම සඳහා මෙම අරමුදල් යොදවනු ඇත.
මෙලෙස වැඩිදියුණු කෙරෙන පහසුකම් මගින් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උසස් ද්‍රව්‍ය විද්‍යාව සහ ව්‍යුහාත්මක ජීව විද්‍යාව යන ක්ෂේත්රයන්හි පර්යේෂණ අවස්ථා පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමගින් ඉන්දියාවේ මෙන්ම සෙසු රටවල විද්‍යාඥයින්ට ද ප්රතිලාභ හිමිවනු ඇත.
මෙම ආයෝජනය ඉන්දියාව සහ ඉතාලිය අතර පවතින වසර 25කට අධික විද්‍යාත්මක සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ද සනිටුහන් කරයි. 1998 වසරේ සිට ඉන්දීය විද්‍යාඥයින් 'ඉලෙට්රා' පර්යේෂණාගාරයේ පරීක්ෂණ සිදු කර ඇති අතර, ඒ අනුව ඉතාලියට පසුව එම පහසුකම වැඩිම වශයෙන් භාවිත කරන දෙවන රට බවට ඉන්දියාව පත්ව සිටී.
අමාත්‍යාංශයට අනුව, ඉන්දීය පර්යේෂණ කණ්ඩායම් විසින් ගත වූ වසර ගණනාව පුරා ඉලෙට්රා ආයතනය වෙත පර්යේෂණ යෝජනා 1,100කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.
පර්යේෂකයන්ට එම පර්යේෂණාගාරයේ අත්හදා බැලීම් සිදු කිරීම සඳහා අරමුදල් සපයන ඉන්දු-ඉතාලි විධායක සහයෝගීතා වැඩසටහන හරහා ද ඉන්දීය රජය විද්‍යාඥයින්ට අඛණ්ඩව සහාය ලබා දී ඇත. 2022–2024 වැඩසටහන යටතේ පර්යේෂණ චාරිකා සඳහා ඉන්දියාව ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලක් වෙන් කළ අතර, 2025–2027 කාලසීමාව සඳහා ද තවදුරටත් අරමුදල් ලබා දීමට යෝජනා වී තිබේ.
මෙම නවතම ආයෝජනය මගින් උසස් විද්‍යාත්මක යටිතල පහසුකම් වෙත ඉන්දියාවට ඇති ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, දෙරට අතර පර්යේෂණ සහයෝගීතාව සඳහා නව මාවත් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




