ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය (GCC) අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) හරහා දෙපාර්ශ්වයේම පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳ විභවතාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වසර විස්සකට පෙර අඩපණ වූ වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරමින්, ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වන සාකච්ඡා නිල වශයෙන් යළි සක්‍රීය කළ අතර ඊට අදාළ නියමයන්ටද අත්සන් තබන ලදී.

නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, සවුදි විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අදෙල් අල්-ජුබෙයිර් සහ GCC හි මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුඩයිවි ඇතුළු ගල්ෆ් කලාපීය නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවලදී ද මෙම වෙළඳ ගිවිසුම කෙරෙහි අවධානය යොමු විය.

"මෙම නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ඉන්දියාව සහ GCC අතර වෙළඳ කටයුතුවල පූර්ණ හැකියාවන් ඉතුරා යන අතරම, එය ගෝලීය යහපත උදෙසා ප්‍රබල බලවේගයක් වනු ඇත. එමෙන්ම දෙපාර්ශ්වය අතර අපනයන ව්‍යාප්ත කිරීමට, විවිධාංගීකරණය කිරීමට සහ ආර්ථික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමටද මෙය මහෝපකාරී වනු ඇත," යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2025-26 මුල්‍ය වර්ෂය තුළ ඉන්දියාව සහ GCC අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 178 ඉක්මවා ගොස් ඇති අතර, ගල්ෆ් කලාපය තුළ මිලියන 10කට ආසන්න ඉන්දීය විදේශිකයින් පිරිසක්ද ජීවත් වෙති.

GCC මහලේකම් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, GCC සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ආරම්භ කිරීම, ආර්ථික හා ආයෝජන ක්ෂේත්‍රයන් හි නව ඉලක්කයන් කරා ගමන් කිරීමේ සන්ධිස්ථානයක් වන බවයි.